NO PMC
වෛද්‍ය අධ්‍යාපනයේ නූතන අර්බුද - 2
(MBBS තිබ්බට ඉස්සරහට රස්සා නෑ ?)
පහුගිය සතියෙ සීමාවාසික පුහුණුව අවසන් කරපු 2014/15 කණ්ඩායමේ අයියල අක්කලා පශ්චාත් සීමාවාසික පත්වීම් (Post Intern Appointments) ලැබුවා. MBBS ගත්ත උපාධිධාරියෙක් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් (Internship) ලබන්න ඕනෙ. එතනින් පස්සෙ වෛද්‍ය සභාවෙ පූර්ණ ලියාපදිංචිය හම්බෙනවා. ඊට පස්සෙ තමා පශ්චාත් සීමාවාසික පත්වීම විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිලධාරියෙක් වශයෙන් සේවයට බඳවා ගන්නෙ. එතකොට පශ්චාත් සීමාවාසික පත්වීම තමා සැබෑ රැකියාව වශයෙන් සලකන්නෙ. සීමාවාසිකය අවසන් වෙලා පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබෙනකන් අතර මැදි කාලය තමා RHO (Registered House Officer) විදිහට හඳුන්වන්නෙ.
අලුතෙන් රැකියාව ලබපු 2014/15 කණ්ඩායමේ අයියලා අක්කලා හැමෝටම සුබපැතුම් !
❤️
මේ පාර පශ්චාත් සීමාවාසිකය ලබාදෙන එක වෙනදට වඩා ප්‍රමාද වුණා. RHO කාලය මාස 8ක් විතර ගෙවුණා. මේකත් එක්ක නූතන වෛද්‍ය අධ්‍යාපනයේ සහ වෛද්‍ය ක්ෂේත්රයේ ගැටලුවක් එළියට මතු වුණා.
පශ්චාත් සීමාවාසික පත්වීම් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන්නෙ ඒ වෙද්දි සීමාවාසික පත්වීම් අවසන් කරල ඉන්න කණ්ඩායමේ කීදෙනෙක් ඉල්ලුම් කරනවාද කියල සලකා බලල. සාමාන්‍යයෙන් වෙනදට මේ ඉල්ලුමට සරිලන රැකියා අවස්ථා ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ලොකු අපහසුවක් නෑ. ඒත් මේ පාර එහෙම වුණේ නෑ. ඇයි ?
මේ පාර සීමාවාසික පුහුණුව අවසන් කරපු ලියාපදිංචි වෛද්‍ය උපාධිධාරීන් 1358 ක් හිටියා. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන්න පුරප්පාඩු තිබ්බෙ 700කට ආසන්න සංඛ්‍යාවක්.
මේ පුරප්පාඩු කියන්නෙ අලුතෙන් වෛද්‍යවරු අවශ්‍ය සේවා ස්ථාන. මේ පුරප්පාඩු හැදෙන්නෙ,
- නව රෝහල් හා ඒකක නිර්මාණය වීමෙන්,
- සේවයේ නියුතු වෛද්‍යවරු විශ්‍රාම යාමෙන්,
- සේවයේ නියුතු වෛද්‍යවරු මියයාමෙන්,
- සේවයේ නියුතු වෛද්‍යවරු සේවය හැරයාමෙන් වගේ හේතු නිසා.
ඔතනින් විශ්‍රාම යන පිරිස ගත්තොත් මේ වෙද්දි විශ්‍රාම යන්නෙ දැනට අවුරුදු පනහකට හැටකට කලින් සෞඛ්‍ය සේවයට ආපු අය. ඒ වෙද්දි රටේ තිබ්බ වෛද්‍ය පීඨ තුන හතරෙන් හදපු වෛද්‍යවරු තමා ඒ. ඒත් 2014 කණ්ඩායම එක්ක බලද්දි වෛද්‍ය පීඨ 8 ක ශිෂ්‍යයො ඉන්නවා. ඊටත් අමතරව ඒ එක්කම ආපු ERPM සමත් විදෙස් උපාධිධාරීන් ඉන්නවා. මේ සේරම තමා අර 1358. එතකොට පේනවා දැන් විශ්‍රාම යන පිරිස වගේ කීප ගුණයක පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයට එකතු වෙනවා.
2023 ඔක්තෝබර් 04 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට අනුව එවක සෞඛ්‍ය ඇමති කෙහෙළිය කියනවා ලංකාවෙ වෛද්‍යවරු සඳහා තියෙන මුළු රැකියා අවස්ථා ගණන 22,563 යි, ඒකෙන් 20,907ක් දැනටම ඉන්නවා, 956ක් විදෙස් නිවාඩුවල ඉන්නවා කියල. එහෙම බැලුවාම ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගන්න පුළුවන් වෛද්‍යවරු ගාණෙ සීමාවක් තියෙනවා.
ඉතින් 2014/15 කණ්ඩායමට වුණේ ඒක. මේ සේවයට එන්න බලං ඉන්න හැමෝටම රැකියා අවස්ථා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නෑ. එන හැමෝම සෞඛ්‍ය අමාත්‍යාංශයට දරාගන්න අමාරුයි. ඒ හේතු දෙකක් මත.
1. පුරප්පාඩු හිඟතාවය :
පශ්චාත් සීමාවාසික කාඩරයේ Vacancy හිඟවීමත් එක්ක මේ හැමෝටම රැකියා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරනවා කාඩරය සංශෝධනය කරන්න. කරල කොහොමහරි 700 ඉඳලා 1358කට ගැලපෙන්න ප්‍රසාරණය කරන්න. අමාත්‍යාංශය ඕක බොහොම අමාරුවෙන් කරනවා.හැබැයි ඊට පස්සෙ තව අවුලක් එනවා.
2. වේතන ගෙවීමේදී මුදල් අමාත්‍යාංශයේ අර්බුදය :
ප්‍රසාරණය කරපු කාඩරේ අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය කැබිනට් එකට ගියාට මුදල් අමාත්‍යාංශය මේකට එකඟ වෙන්නෑ. ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් තියෙන කළමනාකරණ මණ්ඩලය කියනවා මෙච්චර ගොඩකට වැටුප් ගෙවන්න අමාරුයි කියල.
😃
කොහොම හරි ඔය කඹ ඇදිල්ලට වෛද්‍ය වෘත්තීය සමිතියි, ජනාධිපතියි මැදිහත් වෙලා තමා අන්තිමේදි කාඩරය අනුමත කරන්නෙ. ඒ අනුව තමා 2014/15 කණ්ඩායමේ අයියලා අක්කලාට පශ්චාත් සීමාවාසික පත්වීම් හම්බෙන්නෙ.
අපි වර්තමානයට එමුකො. අපි මේ කතා කළේ 2014 උසස් පෙළ කරපු අයියලා අක්කලට රස්සාව හම්බුන විදිහ. අන්තිමට වෛද්‍ය පීඨ වලට ගත්තෙ 2022 කණ්ඩායම. ඔය පහළ දත්ත වගුව සහ ප්‍රස්තාරයේ පේන්නෙ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට ළමයි ගත්ත ප්‍රමාණය. 2014 දි පීඨ 8කට 1243ක් අරං. 2022 ඔතන නෑ. ඒකෙදි පීඨ 12කට 2085ක් ගත්තා. ඔය ප්‍රස්තාරෙ බැලුවොත් 2019න් පස්සෙ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ තියුණු පුළුල් වීමක් දකින්න පුළුවන්. ඒ කියන්නෙ අපි සෑහෙන්න වේගෙන් වෛද්‍ය උපාධිධාරීන් හදනවා.
හැබැයි 2014 සෙට් එකට රස්සා දෙන්න බැරුව වලිකනවා. අපි කොතෙන්ටද යන්නෙ?
මේ අවුරුද්දෙ කොහොම හරි ගැටගහලා 2014 අයට රස්සා දුන්නා. ඊළඟ අවුරුද්දෙ මොකද්ද කරන්නෙ?
😃
ඔය ප්‍රශ්නෙ අපිට අහන්න ලැබුණෙ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය "වෛද්‍ය අධ්‍යාපනයේ අනාගතය" කියන සංකල්ප පත්‍රිකාව එළි දක්වපු උත්සවේදි. එතනදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, වෛද්‍ය සභාවෙ ගරු සාමාජිකයො, රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල ඉස්සරහ තියාගෙන වෛද්‍ය හරිත අලුත්ගේ හරි අපූරු ප්‍රශ්නයක් අහනවා.
Comments
Be the first to add a comment