කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) යනු ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආරක්ෂක හමුදා සේවා වලට අවශ්‍ය විශේෂ පුහුණු නිලධාරීන් ඇති කිරීම අරමුණු කරමින් පිහිටවූ ආයතනයකි. (Parliamentary Act No. 68 of 1981) නමුත් වර්තමානයේ එම අරමුණින් බැහැරව යමින් මුදල් ගෙවීමේ පදනම යටතේ උපාධි ලබාදෙන ආයතනයක් වශයෙන්ද කටයුතු කරමින් පවතී. එය පාලනය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන අතර මීට පෙරද මතභේදාත්මක කොතලාවල විශ්ව විද්‍යාල පනත හරහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණයෙන් සහ උසස් අධ්‍යාපන පනතේ විධිවිධාන වලින් සම්පුර්ණයෙන් ස්වාධීන කර මෙම ආයතනය පවත්වාගෙන යාමට උත්සාහ දරන ලදී.

කොතලාවල ආයතනය තුළ ආරක්ෂක අංශ වල සේවය සඳහා කැඩෙට් නිලධාරීන්ට වෛද්‍ය පුහුණුව ලබාදෙන අතර එම උපාධි පාඨමාලාවට අදාළව පවා ඇතුළත් වීමේ සුදුසුකම්, බඳවාගැනීම් පටිපාටිය ආදිය පිළබඳ ගැටලුකාරී තැන් රාශියක් තිබේ. උසස් පෙළ ප්‍රතිඵලයන්ට අමතරව සම්මුඛ පරීක්ෂණ, වෙනත් සුදුසුකම් පරීක්ෂා කිරීම ආදී පාරදෘශ්‍ය නොවන ක්‍රමවේදයන් භාවිතා කිරීමත්, දේශපාලන හා නිල බලය මත පදනම්ව සිසුන් අනියුක්ත කරගැනීම පිළිබඳව චෝදනා එල්ල වී තිබීමත් ඊට උදාහරණ සපයයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිළිබඳ සාකච්ඡාව නැවත කරළියට පැමිණියේ ඒ හරහා දේශීය සිසුන්ට මුදල් ගෙවා වෛද්‍ය උපාධිය පිරිනැමීමට ඉඩ සලසමින් පසුගිය අප්‍රේල් 09 වෙනිදා නිකුත් වූ කැබිනට් පත්‍රිකාව සමඟිනි. ඒ අනුව රු. ලක්ෂ 125 කට වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

2022/23 වසරේ දී ජීවවිද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසුන් සංඛ්‍යාව 40,329 කි. එයින් A සාමාර්ථ 3 ක් ලබා ඇත්තේ 817 ක් පමණි. (2.03%) S සාමාර්ථ 3 කට වඩා ලබා විශ්ව විද්‍යාල "අවම ප්‍රවේශ සුදුසු කම" ලබා ඇත්තේ 23,178 කි. (57.47%) ඒ අතරින් ශිෂ්‍යයින් 12,000 ක් විවිධ උපාධි පාඨමාලා සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරගෙන ඇති අතර වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කරගත් ශිෂ්‍යයින් ගණන 2085 කි. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත් වූ ශිෂ්‍යයින්ගෙන් 09% ක් ද, විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 17% ක් ද ඇතුළත් වී ඇත්තේ වෛද්‍ය පීඨ වලට ය.

එමෙන්ම දැනට රට තුළ පවතින මානව හා භෞතික සම්පත් ප්‍රමාණයට සාපේක්ෂව වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ උපරිමය වෙත අප ළඟා වී ඇති අතර එහි බලපෑම රාජ්‍ය වෛද්‍ය පීඨ වලටද දැනී තිබේ. තවදුරටත් වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැක්කේ එහි අවම ප්‍රමිතිය පහත දැමීමෙන් පමණක් බව වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ප්‍රවීණයින්ගේ මතයයි. එවැනි තත්වයක් යටතේ මුදල් ගෙවා වෛද්‍ය උපාධිය හැදෑරීමට KDU හි දොරටු විවර කරන්නේ කාගේ උවමනාවටද?

මේ මොහොත වන විට අපේ රට උග්‍ර ආර්ථික අර්බුදයක ගිලී ඇති අතර පසුගිය වසර 04 තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය 11% සිට 26% දක්වා ඉහළ යන ලදී. එනම් මේ වන විට රටේ ජනගහණයෙන් 1/4 ක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර පසුගිය වසර 04 තුළ පමණක් මිලියන 3.3 ක් ජනතාව අලුතින් දුප්පතුන් බවට පත්ව තිබේ. (Worldbank Report - 2024) එමෙන්ම මිලියන 3.9 ක් ජනතාව ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර, මූලික සෞඛ්‍ය, පෝෂණ හා අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට කඩිනම් උපකාර අවශ්‍ය බවට තක්සේරු කළ ළමුන් සංඛ්‍යාව මිලියන 2.9 කි. (UNICEF Sri Lanka Humanitarian Report - 02, 2023)

දරුවන්ට පෝෂණීය ආහාර වේලක් ලබා දීමත්, දරුවන් අඛණ්ඩව පාසලට යැවීම සඳහා පාසල් උපකරණ හා ප්‍රවාහන ගාස්තු සඳහා වියදම් දැරීමත් බරපතල අභියෝගයක් බවට පත් වී ඇති ජනතාවකට ලක්ෂ 125 ක් ගෙවා වෛද්‍ය උපාධි මිලදී ගැනීමට යෝජනා කිරීමේ පදනම කුමක්ද?

වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේත්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේත් ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ එක් උවමනාවක් පමණි. එනම්, පොදු ජනතාවගේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේත්, වරප්‍රසාද ලත් පංතියට පමණක් අධ්‍යාපන අවස්ථා සීමා කිරීමේත් උවමනාව ය. එම ව්‍යාපෘතිය පරාජය කොට නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා පෙරට එන ලෙස අපි ඔබට ආරාධනා කරමු!

උපුටා ගැනීම - Doctors For Free Education



@NoPMC

Comments

Be the first to add a comment